Articles

‘තිරසර සංවර්ධන ඉලක්ක ජයගත හැකි අයුරින් මෙරට අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි’… එක්සත් ජාතීන්ගේ දිනය සමරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.

siri2018 වසරේ එක්සත් ජාතීන්ගේ දින සැමරුම අද (25) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දී පැවැත්වුණි. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධිකාරක සහ නේවාසික නියෝජිත හනා සින්ගර් (Hanaa Singer) මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එහිදී

අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,

“එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කරලා මේ අවුරුද්ද වනවිට වසර 73ක් සපිරෙනවා. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය අරගෙන වසර 63ක්.

එතැන් පටන් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් ව ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළා.

2015 වසරේ ශ්‍රී ලංකාව වගේ ම එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන සියලු ම රටවල් එක්ව තිරසර සංවර්ධන ඉලක්කයන් කරා 2030 දී ළඟා වීමට කැප වී සිටිනවා. මෙම ඉලක්ක 17 රටක් විදියට අපට වැදගත්.මොකද තිරසර ශ්‍රී ලංකාවක් කරා ගමන්කිරීමේ අරමුණ අපට තිබෙන නිසා.

siri 2 siri 1

අධ්‍යාපනය ගත්තහම මේ ඉලක්ක අතර හතරවන ඉලක්කය, සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම තිරසර සංවර්ධනයක අඩිතාලමයි. ඒ වගේම සියල්ලන්ට ම අධ්‍යාපනයට ප්‍රවේශයක් තිබීම ඉතා වැදගත්. මිනිසුන්ගේ ජීවන තත්වය නඟාසිටුවීම සඳහා වගේ ම ලෝකයේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම තිබෙන්නේ අධ්‍යාපනය තුළයි.

ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විදියට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීප ව වැඩ කරනවා, හතරවැනි තරසර සංවර්ධන ඉලක්කය වන පරිපූර්ණ, සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථාව සැලසීම වෙනුවෙන්.

2030 වසරේ දී මේ ඉලක්කයන් සපුරාලීම සඳහා අප බොහෝ කටයුතු කළ යුතුයි. තාමත් අපේ අධ්‍යාපනයේ ඇතැම් ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය ගැන සෑහීමකට පත්විය නොහැකියි. ඒ වගේ ම මම කියන්න ඕනේ, ගුරුවරුන්ට විශේෂ වගකීමක් තිබෙනවා සියලු ම දරුවන් වෙනුවෙන් අවධානය යොමු කරමින් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා.

අද පාසල් ගිය දරුවන් 2030 දී මේ රටේ යොවුන් පුරවැසියන් බවට පත්වෙනවා. ඔවුන් අත තමයි රටේ අනාගතය තීරණය වන්නේ. ඒ නිසා අපි පාසල් දරුවන් සවිබල ගන්වන්නට ඕනේ, ශ්‍රී ලංකාව තුළ තිරසර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා.”

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන සෙසු අංශයන්හි මෙරට නියෝජිතයන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.