Articles

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ත්‍රෛභාෂා දැනුම සංවර්ධනයට පියවර

pirivenපිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ත්‍රෛභාෂා දැනුම ඉහල නැංවීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අතර මේ වන විටත් පිරිවෙන් සදහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව පිරිවෙන්වල දෙමළ භාෂාව ඉගැන්වීම සදහා දෙමළ භාෂා ගුරුවරුන් බඳවා ගන්නා ලෙස මහානායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසුකම් ලත් දෙමළ භාෂා ගුරුවරුන් බඳවාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පිරිවෙන් අධ්‍යාපන ශාඛාව පියවර ගෙන තිබේ.

පසුගියදා (04) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති 181 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේ දී මේ සඳහා අවශ්‍ය අනුමැතිය හිමි විය.

ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ දී විවිධ භාෂා දැනුම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, මෙරට තුළ ජාතික සහ ආගමික සහජීවනය ඇති කිරීමට භික්ෂූන් වහන්සේට විශාල කාර්යභාරයක් පවතින බව ද ඒ සදහා භික්ෂූන් වහන්සේගේ දෙමළ භාෂා දැනුම ඉවහල් කර ගත හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

පිරිවෙන්වල ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සදහා ආරම්භක පියවර වශයෙන් මෙලෙස දෙමළ භාෂා ගුරුවරුන් 50 දෙනෙකු බඳවාගැනෙන අතර, අවශ්‍යතාව අනුව ඉදිරියේ දී තවත් දෙමළ භාෂා ගුරුවරුන් පිරිවෙන් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගැනීමට ද සැලසුම් කර තිබේ.