ක්‍රීඩා සංචාර වෙනුවෙන් වැඩිපුර එකතුකළ මුදල් නැවත දෙමව්පියන්ට: ක්‍රීඩා සංගම් වෙත අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් රතු එළියක්.

sp2විදේශීය කරාටේ තරග සංචාරයකට සහභාගී වීම සඳහා පාසල් කරාටේ සංගමය දෙමව්පියන්ගෙන් වැඩිපුර එකතුකළ මුදල අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නැවත මව්පියන් වෙත ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා (09) පන්නිපිය ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩාපිටිය නවීකරණය කිරීමේ සමාරම්භක උත්සවයේ දී හෙළි කළේය.

පහුගිය මාසයේ මැලේසියාවේ පැවැත්වුන දින දෙකක කරාටේ තරගාවලියකට පාසල් ක්‍රීඩකයින් සහභාගී කරවීම සඳහා පාසල් කරාටේ සංගමය එක් තරගකරුවෙකුගෙන් රුපියල් 115,000 ක් බැගින් ක්‍රීඩකයන් තිස් දෙනෙකුගෙන් මුදල් එකතු කර ඇති බව අනාවරණය වී ඇත. මෙම මුදල් එකතුකිරිම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සිදුකළ සොයා බැලීමක දී හෙළිවුණේ එම සංචාරය සඳහා සහභාගි වූ ක්‍රීඩකයෙකුගෙන් සත්‍ය ලෙස වැයවූ මුදල රුපියල් 80,000 ක් පමණක් බවයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ නිලධාරීන් අමාත්‍යාංශයට කැ‍ඳවා කළ කරුණු විමසීමකදී තහවුරු වුයේ, තරග සංචාරය සදහා වූ සත්‍ය වියදම් වලට වඩා වැඩි මුදලක් සිසුන්ගෙන් එකතු කර ඇති බවයි.

sp sp1

අදාළ තරගාවලියට සහභාගිවු සිසුන් තිස් දෙදෙනාගෙන් එක සිසුවෙකුගෙන් රුපියල් 35000 බැගින් වැඩිපුර එකතු කර තිබුණු මුදල වහාම නැවත ලබා දීමට කටයුතු කල අතර, ඒ අනුව රුපියල් 1,120,000 (එකොළොස් ලක්ෂ විසිදාහක්) ක මුදලක් අදාළ දෙමාපියන් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු හෙළිකළ අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් ක්‍රීඩාව දියුණු කිරීමට ගතහැකි උපරිම පියවර ගන්නා බව ද අවධාරණය කළේය. එමෙන්ම දූෂණය නාස්තිය වැළැක්වීමට තමා සැමවිටම නායකත්වය ලබා දෙන බව ද සිහිපත් කළ අමාත්‍යවරයා, පාසල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම තීරණයක් ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍යංශ ක්‍රීඩා අධ්‍යක්ෂ මංජුල කාරියවසම් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.