විජයග්‍රාහී නිදහසක සැබෑ උරුමකරුවන් වෙමු

minister speakඅදින් වසර 70කට එපිට දී , වසර 133 ක අධිරාජ්‍යවාදී පාලන සමයක අවසානයෙහි, අපේ රට ස්වෛරී රාජ්‍යයක් බවට පත් වීමේ සුවිශේෂ අවස්ථාව එළඹිණි. රටට ආදරය කළ, රටේ ස්වෛරීත්වය වෙනුවෙන් අභීතව පෙනී සිට, අවසානයේ රට වෙනුවෙන් දිවි පිදූ සියලු ජනවර්ගවලට අයත් සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ අතිමහත් කැපවීම සැත්තෑවසරක නිදහස සමරන මේ මොහොතේ අපට කිසිසේත් අමතක කළ නොහැක. පළමුකොට ම ඔවුන් සියලු දෙනාම ගෞරව පෙරදැරිව සිහිපත් කරමි.

නිදහස ලබාගෙන ගත වූ දශක හතක කාලය මුළුල්ලෙහි මෙන් ම, එළඹෙන අනාගතයේ දීත් තවදුරටත් නිදහස ගැන කතාබහ කරන්නට, සැබෑ මානව නිදහසට අර්ථ සපයන්නට අපට සිදු වී තිබේ. චින්තනය, භාෂණය, මෙන්ම ජීවත්වීමේ නිදහසට ද තවමත් මිනිස්සු අරගල කරති. ලෝකය අමතක කොට තවමත් සමහරු දූපත් මානසිකත්වයක කොටු වී ඉන් නිදහස්වන්නට අකමැති ව පසුවෙති.

එහෙත් අධ්‍යාපනය, සංස්කෘතිය, තාක්ෂණය දවසින් දවස අලුත් වනවිට ඒ හරහා නිදහසේ සංවර්ධනය වන්නට අපට ඕනෑතරම් ඉඩ අවකාශ දැන් තිබේ. ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් ලෝකය සමඟ මුහුවන්නට අපට අවකාශ තිබේ. එහෙත් තවමත් අප අතරින් බහුතරයක් ඒ නිදහස තවමත් නිවැරදිව හඳුනාගැනීමෙහි අසමතුන් ව සිටියි. අසමතුන් සමතුන් බවට පත්කරමින්, ජාති, කුල, ආගම් භේදවලින් නිදහස්වන්නට, දරිද්‍රතාවයෙන් සහමුලින් ම නිදහස් වන්නට අධ්‍යාපනයෙන් ජාතිය ම ඔසවා තබන්නට දැන් අපට වෙහෙස විය යුතුව ඇත.

රටේ සංවර්ධනය වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදීම පිණිස අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් ඇති කරමින් මෑතකාලීන ව අප විසින් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇත්තේ ද ඒ වෙහෙස ක්‍රියාවෙහි යොදවමිනි. අවිද්‍යාවෙන්, මිත්‍යාවෙන්, නූගත්කමින්, වල්වැදුනු සමාජය ඉන් නිදහස් කරගැනීමට රටේ අධ්‍යාපනය සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය ජාතික වගකීමකි. ඒ වගකීම ඉටු කරමින් නිදහස් රටක, නිදහස් පුරවැසියන් ලෙස විජයග්‍රාහී නිදහසක සාඩම්බර උරුමකරුවන් වන්නට අදිටන් කරගනිමු.