පිරිවෙන් මණ්ඩලය රැස් වෙයි - පිරිවෙන් අධ්‍යාපනයේ හා ශාසනික නවෝදය වෙනුවෙන් නව පියවර රැසක්

pirivenපිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා තීන්දු තීරණ හා ප්‍රතිපත්ති, සැලසුම් සකස් කරනු ලබන පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ 180 වෙනි රැස්වීම පසුගිය(29) දා අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණි. ඒ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ ගරු සභාපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ හා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය නියෝජනය කරන ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි.

අධ්‍යාපන අමාත්‍යංශය නියෝජනය කරමින් පිරිවෙන් අධ්‍යාපන ප්‍රධාන උපදේශක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන නාහිමිපාණන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රමුඛ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි හා අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් මීට එක් විය.

එහිදී ශාසනික ප්‍රබෝධයට මෙන් ම පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් විශේෂ තීන්දු තීරණ රැසක් ගනු ලැබීය. එහිදී ගනු ලැබූ ප්‍රධාන තීරණ මෙහි දක්වා ඇත.

· පිරිවෙන් ගුරුවරුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයක් ආරම්භ කිරීමට තීරණය විය.

· දීර්ඝ කාලයක් තිස්සේ මතයක් පමණක් වෙමින් කල්මරමින් සිටි සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ අනුමැතිය ලබාදුන් අතර ඒ සඳහා අවශ්‍ය පරිදී අදාළ පනත් සංශෝධනය කිරීමට යෝජනා විය.

· අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාවට නංවා ඇති එක් විහාරස්ථානයකට රුපියල් ලක්ෂ 05 බැගින් වසරකට විහාරස්ථාන 1000 කට මූල්‍ය පරිත්‍යාග ලබාදෙන ‘සසුනෝදය’ වැඩසටහන යටතේ දුෂ්කර හා පිරිවෙන් අධ්‍යාපන ආයතන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කරන ලදී.

· අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් භික්ෂූන් වහන්සේ උදෙසා ක්‍රියාවට නංවා ඇති ඉන්දියාවේ බුද්ධභූමි වන්දනාව සඳහා පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලාට අවස්ථාව සැලසීමටත් එහිදී ගමන් වියදම් වලට අමතරව යම් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට ද පියවර.

· අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව වටිනා සහ දුර්ලභ බෞද්ධ ග්‍රන්ථ / පුස්කොල පොත් ආදිය ප්‍රමුඛතාව හදුනාගනිමින් මුද්‍රණය කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යෝජනා කල අතර ඒ සඳහා මහාචාර්ය විමල් ජී බලගල්ලේ මැතිතුමන්ගේ ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් පත් කෙරුණි.

· ජාතීන් අතර සුහදතාවයත් ආගම් අතර සහජීවනයත් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව දෙමළ බස ඉගැන්වීම සඳහා ගුරුවරුන් 50ක් ස්ථිර ලෙස බඳවා ගැනීමට තිරණය කරන ලදී.

· පිරිවෙන්වල ගුරුවරුන්ගේ ගැටළු හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමේ කාර්යය හා පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතියට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමේ කටයුතු සඳහා විශේෂ වැඩසටහනක්. කමිටුවක් හරහා වේගවත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්.

· පිරිවෙන්වල ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ සුභසාධනය වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යාධාරය අප්‍රේල් 05 වෙනි දිනට පෙර ලබාදීමට පියවර.

· සීතාවකපුර හා වේනමුල්ල පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතන සංවර්ධනයට පියවර.