යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල හි ලෝකඩ පදක්කම දිනූ පාරමීට අධ්‍යාපන අමාත්‍යවරයා අතින් තිළිණ ප්‍රදානයක්

paramiකෙන්යාවේ දී මාස 03 ක ක්‍රීඩා පුහුණුවක්

වසර 6 ක් යනතුරු පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට සහ ඇයගේ පුහුණුකරුට මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක්

ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කමක් දිනූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී තිළිණ ප්‍රදානයක් සිදු කරනු ලැබීය.

2007 වසරේ දී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ලබා ගත් ලෝකඩ පදක්කමින් පසුව තරගාවලියක දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු ලද පළමු පදක්කම ද මෙය වන අතර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලාංකිකයෙකු පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය වේ.

parami1 parami2

දුෂ්කරතා මධ්‍යයේ මෙවැනි දක්ෂතා දැක්විය හැකි සිසු දරුවන් සිටීම මුඵ රටටම ආඩම්බරයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී සඳහන් කළා. අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් පසුව ඇයට මලල ක්‍රීඩා පිළිබඳව කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් ලබාදීමටත්, ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීමත් මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.