උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීමට නවක ගුරුවරුන් 123ක් අධ්‍යාපන පද්ධතියට...

13 1“වේගයෙන් පුහුණු කළ හැකි මානව සම්පතක් අපට තිබුණත් වෘත්තීකයින් බිහිකිරීම ප්‍රමාණවත් නැහැ, එම හිඩැස පිරවීම රජයේ අරමුණයි” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

වේගයෙන් පුහුණු කළ හැකි හොඳ මානව සම්පතක් අප සතුව පවතින නමුත් තවමත් අපේ රට තුළ වෘත්තීකයින් බිහිකිරීමේ ප්‍රවණතාව ප්‍රමාණවත් නොවන බවත්, එකිනෙකාගේ දක්ෂතා අනුව විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරියට යා හැකි වෘත්තීකයින් බිහිකිරීම ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය යාවත්කාලීන කළ යුතු බවත් , 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාවක් හැදෑරීමේ අවස්ථාව මෙරට දරුවන්ට ලබාදීමට තමා පියවර ගත්තේ එම ඉලක්ක ජයගැනීම වෙනුවෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ගුරුසේවයේ 3-1 ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් 123 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නිල උත්සව අවස්ථාවට එක්වෙමිනි.

13 2 13 4

අධ්‍යාපනය තුළින් ලබාගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදාගන්නා මට්ටම අනුව කෙනෙකුගේ සාර්ථකත්වය තීරණය වන බවත්, සාමාන්‍ය පෙළින් කවර ප්‍රතිඵලයක් ලබාගත්තත් තමන් වඩාත් දක්ෂතා දක්වන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යාමේ අවස්ථාව අපේ රටේ දරුවන්ට ලබාදෙමින් 13 වසරක අධ්‍යාපන වැඩසටහන අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වාදෙන ලද බවත්, මේ යටතේ වසර දෙකක් තුළ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව අවසන් කරන සිසුන්ට අනාගතයේ දී වෘත්තීක ජීවිතය සාර්ථක කරගැනීම පහසු ඉලක්කයක් වන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වා දී ඇති සංචාරක, කෘෂි විද්‍යා, ධීවර, ආහාර තාක්ෂණය, මෝස්තර නිර්මාණය ඇතුළු බොහෝ විෂයයන් ලෝකයේ ඉදිරියට යා හැකි, ඉතා ඉහළ වෘත්තීකයින් බිහිකළ හැකි විෂයයන් බවත්, සීමා මායිම් බිඳ විශ්වය සමඟ එක්විය හැකි පිළිගත් වෘත්තීකයින් බවට ‍ අපේ දරුවන් පත්කිරීමේ වගකීම අද දින ගුරුපත්වීම් ලබන සියලු දෙනා වෙත පැවරෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

13 3 13-5


ලෝකයේ බොහෝ දියුණු රටවල් වෛද්‍යවරුන්, හෙදියන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, මෘදුකාංග ඉංජිනේරුවන් හරහා විදේශ විනිමය සොයද්දී තවමත් අප ගෘහසේවිකාවන් විදේශගත කරමින් වැඩිම විදේශ විනිමය සොයන රටක් ලෙස කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉදිරියේ දී මේ තත්වය වෙනස් කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂ, ප්‍රවීණ වෘත්තීකයින් බිහිකිරීමට මෙම වැඩපිළිවෙළ හරහා පැහැදිලි පිටුබලයක් සැලසෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පවසන ලදී.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ හඳුන්වාදෙන ලද විෂයයන් අතරින් ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ප්‍රසංගික කලාව, ග්‍රැෆික් නිර්මාණකරණය, භූ දර්ශන නිර්මාණකරණය, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය,ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය, වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, මෘදුකාංග සංවර්ධනය, වෙබ් නිර්මාණකරණය, සංචාරණය හා ආගන්තුක සත්කාරය, පාරිසරික අධ්‍යයනය යන විෂයයන් ඉගැන්වීම සඳහා දෙවැනි අදියර තුළ මෙම ගුරුවරුන් බඳවාගන්නා ලදී. මෙහි පළමු අදියර යටතේ ගුරුවරුන් 1150ක් අතරින් 932 දෙනෙක් පත්වීම් ලබාගත් අතර, ඇතිවූ පුරප්පාඩු මත දෙවැනි අදියරේ දී තෝරාගත් තවත් උපාධිධාරීන් 123 දෙනෙකු අද සිය පත්වීම් භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් පද්මසිරි ජයමාන්න, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අතිරේක ලේකම් වයි එන් ඩී ඒ යාපා, අතිරේක ලේකම් මධුරා වේහැල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.