ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ දිවයින පුරා ඉදිකිරීම් 200 ක් මාර්තු 01 වන දා ජාතික අධ්‍යාපන පද්ධතියට

Nsbs1අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර ඒ යටතේ දෙමහල්, තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යාපීඨ, පරිපාලන ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, සෞන්දර්යය ඒකක, දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති හා ගුරු නිල නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, තාක්ෂණගාර, බහුකාර්ය ගොඩනැගිලි, ආපණ ශාලා ඇතුළු ඉදිකිරීම් රැසක් මේ යටතේ විවෘත කිරීමට නියමිතය. මෙම ඉදිකිරීම් 200 සඳහා වැයකර ඇති මුදල රු.මි. 3,938 කට ආසන්නය.

මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ජාතික මහෝත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ කුලියාපිටිය ශාන්ත ජෝශප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරමිනි.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය 2016 වසර සිට 2020 වසර දක්වා ක්‍රියාත්මක වන අතර සමස්ත ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රු. මිලියන 65,000 කි. ඒ යටතේ මෙරට පාසල් 10,165 න් පාසල් 9,063 ක ව්‍යාපෘති 18,000 ක් ක්‍රියාත්මකය.