ගංවතුරෙන් විපතට පත් පාසල්වලට තාක්ෂණික උපකරණ ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී...

get-blog-imageපසුගිය වසරේ දිවයිනේ පළාත් කිහිපයක ඇති වූ ගං වතුර උවදුරින් හානියට පත් පාසල් සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පියවර ගෙන තිබේ. ඒ අනුව එම පාසල්වල හානියට පත් ගොඩනැගිලි නැවත ඉදිකිරීම සහ හඳුනාගත් ප්‍රතිසංස්කරණ කටයුතු 2018 වසරේ සිට ම ආරම්භ කරනු ලැබීය.

මෙසේ විපතට පත් පාසල් සංඛ්‍යාව 142ක් වන අතර, එම පාසල් වෙනුවෙන් තාක්ෂණ උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම තාක්ෂණික උපකරණ කට්ටලයට ලැප්ටොප්, ෆොටෝකොපි යන්ත්‍ර, ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, මල්ටිමීඩියා යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ඇතුළත් වේ.

දිවයිනේ සියලු පාසල් පහසුකම් සපිරි පාසල් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මත ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ මෙම උපකරණ ප්‍රදානය සිදුකෙරෙන අතර, ඒ වෙනුවෙන් ව්‍යාපෘතිය විසින් ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 101කි.

මීට අමතර ව, මෙම පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම් වෙනුවෙන්, 2019 වසර තුළ රුපියල් මිලියන 100ක් ද ගොඩනැගිලි අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් මිලියන 200ක් ද වෙන් කොට තිබේ. ඒ පසුගිය වසරේ ඒ වෙනුවෙන් වැයකරන ලද රුපියල් මිලියන 581කට අමතරවයි.