විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසනවා. - අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් -

ex1අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේනම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊ්යේ (11) සවස පැවති උත්සවය අමතමිනි .

විභාග දෙපාර්තමේන්තුව ඉතා විශ්වසනීය ස්ථානයක් විය යුතු බවත් ඒ සඳහා බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා විවිධ පෞද්ගලික මැදිහත්වීම් හැකිතරම් අවම විය යුතු අතර ඒ වෙනුවෙන් විධිමත් ක්‍රමවේද ඇති කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය .

ප්‍රශ්ණපත්‍ර සකස් කරන විද්වතුන් වෘත්තීය හා සාරධර්ම ආරක්ෂා කරන පිරිසක් විය යුතු බවත් විභාගයක් යනු අධ්‍යාපනයේ කිසියම් කඩඉමක් වන බවත් හෙතෙම පැවසුවේය. ගොවි,කම්කරු හා සමාජයේ ඉහලම තරාතිරමේ සෑම පුද්ගලයෙක්ම ජීවිතයේ යම් අවස්ථාවල විභාගවලට මුහුණදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විභාග ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් සෑම දෙනකුටම ඉදිරියට පැමිණිය හැකි බවද අධ්‍යාපනය ටියුෂන් පන්ති මත තීරණය කිරීමට සිදුවී තිබීම ගැනත් පියවර ගත යුතුව ඇති බවද අවධාරණය ක‍ළේය.

තමා අධ්‍යාපන අමාත්‍ය පදවියට පත්වී වසර 04ක කාලය තුළ බොහෝ විප්ලවීය හා සාධනීය වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කළ බවත් නිර්භයව තීරණ ක්‍රියාත්මක කිරීමට යාමේදී නොයෙක් පැති වලින් එල්ල වන ප්‍රහාරයන්ට ලක්වීමට සිදු වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ටැබ් පරිගණක ලබා දීමට වැඩසටන කෙසේ හෝ ක්‍රියාවට නංවන බව පැවසුවේය. අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් බඳවා ගැනීමේ සිට මානව හා භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම විෂයමාලා කාලීනව සංශෝධනය කිරීම ආදී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුකොටගෙන අධ්‍යාපන පද්ධතියේ බොහෝ අඩුපාඩු සමනයවනු ඇති බවද පැහැදිලි කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකට ඔවුන් පදිංචි රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් පෙනී සිටීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන බවද එහිදී සඳහන් කළේය.

විභාග සහතික මාර්ගගත ක්‍රමයට නිකුත්කිරීමේ වැඩපිළිවෙල සිදු කල යුතුව තිබුණේ මීට දශක කිහිපයකට ඉහතදී යැයි පැවසූ අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය ඇතුළු සෑම කාර්යක්ම වෙනුවෙන්ම අවශ්‍ය මුදල් ලබා දුන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසුවේය.

ex2 ex3

 

විභාග දෙපාර්තමේන්තුවේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය විවෘත කිරීම මාර්ගගත ක්‍රමයට සහතිකපත් නිකුත් කිරීමේ සමාරම්භය මාර්ගගත ප්‍රතිඵල සනාථ කිරීමේ වැඩපිළිවෙලට උපරිම දායකත්වය දැක්වූවන්ට තිළිණ හා සහතිකපත් පිරිනැමීම අධ්‍යාපන අමත්‍යවරයා අතින් සිදු කෙරුණි. මෙම සහතිකපත් බෙදා හැරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා තැපැල් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කෙරුණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම් එන් රණසිංහ විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත ,තැපැල්පති රංජිත් ආරියරත්න , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් අචාර්ය ජයන්ති ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වුහ.