දරුවන්ගේ හෙට දවස අද දකින විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතරට අභිමානයෙන් එක්වන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන - දෙවැනි අදියර යටතේ රට පුරා ඉදිකළ පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනක සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන ඇතුළු මැතිඇමතිවරුන් ප්රමුඛ දේශපාලන නියෝජිතයන් සහ අධ්‍යාපන නිලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (04) පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණි.
මෙහි දී උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍යවරයා,
“අද ඉතාම සුවිශේෂ වූ දවසක්. ඒ තමයි දිවයින පුරා පාසල් 250ක ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දැවැන්ත ව්‍යාපෘති 250ක් විවෘත වන දවස. මීට මාස කිහිපයකට පෙර ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වගේ ම ගොඩනැගිලි 200ක් විවෘත කරනු ලැබුවා. ඒ 200 විවෘත කරන අවස්ථාවේ ගරු අගමැතිතුමා කුලියාපිටියෙ තිබුණ ඒ රැස්වීමෙදි කිව්වා, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ගෙනාවට පස්සෙ මධ්‍ය විද්‍යාල 50ක් ඇතිකරපුවාම එකවර, ගොඩනැගිලි 25ක් ලංකාවට ම එකවර දුන්නා කියලා. අපිට පුළුවන් වුණා, එතුමාගේ මගපෙන්වීම යටතේ එකවර ගොඩනැගිලි 1500ක් මේ රටට තිළිණ කරන්න.
මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙලා තිබුණෙ නෑ කවදාවත්. මහවැලි ව්‍යාපාරයට වඩා වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. මිලියන 65000ක් මේ රජය මේ රටේ දරුවන් සඳහා වැය කරලා තියෙන ව්‍යාපෘතියක්. මට මතකයි 2015 මේ රජය බලයට පත්වෙද්දි මේ රටේ තිබුණු පාසල් 10000න් විදුලිය තිබුණෙ පාසල් 60%කට පමණයි. අද වනවිට 98%කට විදුලිය තියෙනවා. මේ රටේ පාසල්වල. ඊට අමතර ව පුස්තකාල සඳහා පොත්පත් ආදී වශයෙන් භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. වැසිකිළි ඒකක 40000ක් හදලා දීලා තියෙනවා. භෞතික සම්පත් පමණක් නොවේ. මානව සම්පතත් අපි මේ ව්‍යාපෘතිය යටතේ ලබාදීලා තියෙනවා. විදුහල්පතිවරුන් 4000ක් ලබාදුන්නා, කිසිදු දේශපාලන මැදිහත්වීමක් නැතුව. තව 2000ක් විභාග කොමසාරිස්තුමා, හෙට අනිද්දා විභාග ප්‍රතිඵල නිකුත් වුණාම මේ පද්ධතියට යොමු කරනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ 852ක් අපි බඳවාගත්තා, විභාග තියලා. ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190ක් ගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ක්‍රීඩා පුහුණුකරුවන් 3880ක් බඳවාගනු ලැබුවා. ශිෂ්‍ය උපදේශනය සඳහා මේ දිනවල දෙදාස් ගානක් ගන්න සම්මුඛ පරික්ෂණ පැවැත්වෙනවා. පළාත් අමාත්‍යාංශවලටත් මේ ගුරු හිඟය සඳහා විශාල ගුරු පිරිසක් බඳවාගන්නට අපිට හැකියාව ලැබිල තියෙනවා. විද්‍යාපීඨවලට ඇතුළත් කරගැනීමේ පමාවක් තිබ්බා. අවුරුද්දක දෙකක. අපි මේ සැරේ කණ්ඩායම් දෙකම ගන්න තීරණය කරලා, 8000ක් පමණ ගන්නවා. ඒ අනුව, ඉඩකඩ හදාගෙන හොස්ටල් පහසුකම් හදලා ඒ කටයුතුත් දැන් මේ දිනවල සිදුවෙමින් පවතිනවා.
මේ විප්ලවීය වෙනස කරන්න පුළුවන් වුණේ ඇත්ත වශයෙන් ම අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම ලැබුණ නිසා. ඒවගේ ම එතුමා මේ කටයුතු කරන්න අවශ්‍ය සහයෝගය ලබාදුන්න විතරක් නෙවෙයි, එතුමා වගේ අලුතින් හිතන නායකයෙක්, සීමා මායිම්වලින් එහා ගිහින් හිතන නායකයෙක් අපට ලැබුණු නිසා කියල මම බොහොම ආඩම්බරයෙන් කියන්න කැමතියි. අද බලන්න නවීන තාක්ෂණය එක්ක අධ්‍යාපනය එක්කරමින් යනවා. මේ වනවිට ඩිජිටල් පන්තිකාමර පාසල්වලට ලබාදීල තියෙනවා. සුරක්ෂා රක්ෂණය මඟින් සෑම දරුවෙක් ම රක්ෂණය කරල තියෙනවා. උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීම ක්‍රියාත්මක කරනවා. විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට ලබාදෙන රුපියල් 3000 දීමනාව වෙනුවට රුපියල් 5000 දක්වා වැඩි කරන්න ගරු අගමැතිතුමා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව කීවා.
එදා නොකරපු විශාල වැඩකොටසක් අද අධ්‍යාපනය තුළ සිදුකරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන් ගුරු පුහුණුව, විදුහල්පති පුහුණුව පහුගිය කාලය තුළ විශාල වශයෙන් සිදුවුණා. ඒ නිසා මේ විප්ලවීය වෙනස ඇති කරන්නට පුළුවන්වීම ගැන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම ඉතා සතුටට පත්වෙනවා. මේ කරන සියලු වැඩවලින් අධ්‍යාපනයේ තියෙන ගුණාත්මකභාවය ඉස්සරහට යනවා. අද මෙතන ඉන්න මේ විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට මේ ක්‍රමය ඔස්සේ මේ අධ්‍යාපනය ලබන්න පුළුවන් වුණේ වර්තමාන අගමැතිතුමා එදා දශක කිහිපයකට පෙර අනාගතය දැකලා කරපු වෙනස්කම් නිසා. එදා ගුරුවරුන් බඳවා ගැනීම දේශපාලන ලයිස්තුවලට සීමාවෙලා තිබුණා. ඒක වෙනස් කරලා කැබිනට් මණ්ඩලය එතුමාට විරුද්ධ ව විශ්වාස භංගයක් එල්ලවන්නත් හිටිය අවස්ථාවක, ඒ වෙනස්කම ඇතිකරලා විභාග ක්‍රමයෙන් ගුරුවරුන් ගන්න තීරණය ඇති කළේ මෙතුමා කියන එක මම කියන්න ඕන. අද ඒ කර්තව්‍යය කරපු නිසා අද විද්‍යාපීඨවලින් එලියට ආපු ගුරුවරු ඉන්නවා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. අද මේ පද්ධතිය තුළ පුහුණු ගුරුවරුන් ඉන්නවා. විෂය මාලා වෙනස්කරගෙන යනවා. අනාගත ලෝකයට ගැළපෙන ආකාරයට. අනාගතයට යන්න තියෙන පාස්පෝර්ට් එක තමයි අධ්‍යාපනය. නවීන තාක්ෂණය, අනාගත චලනයන්, හරියට අධ්‍යයනය කරමින්. මේ වෙනස්කම් ටික අධ්‍යාපනය තුළ සිදුකළ යුතුයි. අලුත් ම දැනුම් සම්භාරයක් එක්ක තමයි අනාගතයට අපේ දරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ. මේ වෙනස්කම් හඳුනාගෙන, චලනයන් හඳුනාගෙන අපි කටයුතු නොකළොත් අපි පසුගාමී ජාතියක් බවට පත්වෙනවා. වර්තමාන බොහෝ අයට නොතේරුණාට අනාගතයේ දවසක කියාවි මේ ගන්න තීන්දු තීරණ බොහෝ දේ මීටත් කලින් ගන්න තිබුණු දේවල් කියලා. මුලු රට පුරාම දැනෙන වැඩ කොටසක් අද අධ්‍යාපනය තුළ සිද්ධවෙලා තියෙනවා. මේ දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු සියලු ම දෙනාට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම ස්තුතිය පළ කරනවා.
ඒ වගේ ම අපි නව අධ්‍යාපන පනතක් අපි එළි දක්වනවා. ඒ නව පනත තුළ මේ රටේ සියලු අධ්‍යාපන ප්‍රශ්නවලට විසඳුම් ඇතුළත් කරල තියෙනවා. මේ විවෘත කිරීම්වලට සහභාගී වුණ දේශපාලනඥයින්, අධ්‍යාපනඥයින් සියලු ම දෙනාට මම මගේ කෘතවේදී ස්තුතිය පළ කරනවා..” යැයි පැවසීය.
විද්‍යාපීඨ සංකල්පය රටට හඳුන්වාදෙමින් අධ්‍යාපන පද්ධතියට පුහුණු ගුරුවරුන් දායාද කිරීම වෙනුවෙන් පුරෝගාමී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත කෘතවේදීත්වය පළ කිරීම වෙනුවෙන් පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමිය විසින් සියලු විද්‍යාපීඨ ප්‍රජාව නියොජ්නය කරමින්, විශේෂ සමරු ඵලකයක් පිරිනැමීම ද මෙහි දී සිදුකෙරුණි. පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ අභිනවයෙන් ඉදිකළ සුහුරු පන්ති කාමර, දේශන ශාලා සහ ශ්‍රවනාගාරය විවෘත කිරීම ද මෙහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.