වසර ගණනාවකට පසු වෘත්තීය සංගම් නියෝජිතවරු හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්

unionදිගුකලක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නොවිසඳී පැවති ගුරු හා විදුහල්පති සේවයට අදාළ ගැටළු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා අදාළ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ගුරු හා විදුහල්පතිවරුන් නියෝජනය කරන වෘත්තීය සංගම් රැසක් අද (17) පෙරවරුවේ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවූහ.

ශ්‍රී ලංකා ගුරු සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය සංවෘත සේවාවන් බවට පත්කිරීමත්, එම සේවාවන් සඳහා සුදුසු වැටුප් ව්‍යූහයක් සකස් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කරන ලද අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීමත් සම්බන්ධ කරුණු මෙහි දී වෘත්තීය සංගම් විසින් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදී.

union1 union 2

ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී, විශේෂයෙන් ම පසුගිය මැතිවරණ සමයේ ඒ සම්බන්ධ ව සිදුව ඇති අක්‍රමිකතා සොයාබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් රහස් පොලිසියේ ද සහාය ඇතිව මේ වනවිටත් පියවර ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් ගුරුසංගම් නියෝජිතවරුන් විසින් මතුකළ කරුණකට අදාළව අමාත්‍යවරයා පැහැදිලි කළේය. එමෙන් ම, පාසල්වල මුදල් එකතු කිරීම්, පාසල්වල ලිපි ලේඛන කටයුතු, කොල පිරවීම් බහුල වීම ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් වී ඇති නිසා ඒවායින් ගුරුවරුන් ඈත්කොට අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒ සදහා යොමුකරවීම, ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තීය සංගම් නියෝජිතවරුන් අමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වූහ. ලංකා ගුරු සංගමය, විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව, විදුහල්පති වෘත්තීකයින්ගේ සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් මේ සඳහා එක්ව සිටියහ.

වසර ගණනාවකට පසු අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මෙවැනි සාකච්ඡාමය අවස්ථාවක් ලබාදීම සම්බන්ධ ව වෘත්තීය සංගම් නියෝජිතවරුන් අමාත්‍යවරයාට සිය කෘතවේදීත්වය ද පළ කරන ලද අතර, ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් සාධාරණත්වය ඉටුවේයැ'යි අපේක්ෂා කරන බව ද සඳහන් කළහ. තමා අමාත්‍යධූරය භාරගෙන තවමත් ගතව ඇත්තේ දින කිහිපයක් පමණක් වන බවත්, මේ සම්බන්ධව හොඳින් අධ්‍යයනය කර ඉතා ඉක්මණින් අදාළ තීන්දු තීරණ, විසඳුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ද අතීතයට නොව, වර්තමානයට හා අනාගතයට වගකියමින් එම තින්දු තීරණ වෙනුවෙන් පෙනී සිටින බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.