Latest News

pr

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වැනි පන්තියේ විදුහල්පතිවරුන් 1918 ක් අලුතින් අධ්‍යාපන පද්ධතියට..

නව විදුහල්පති සේවා ව්‍යවස්ථා විධිවිධාන අනුව, දිවයින පුරා සියලු පාසල්වල පවත්නා 3 පන්තියේ විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම වෙනුවෙන් නවක විදුහල්පතිවරුන් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

2018 වසර වනවිට මෙරට සියලු පාසල්වල හඳුනාගත් 3 වන පන්තියේ විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව 1918 ක් වන අතර ඊට අදාළ ව මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ජුලි මස 29 වැනි දා සිට ඇරඹෙයි. විදුහල්පතිවරුන් බඳවාගැනීමට අදාළ ව පැවැත්වූ තරග විභාගයෙන් ඉහළින් සමත් වූවන් අතුරින් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අතර, මේ වනවිටත් අදාළ කැඳවීම් ලිපි යොමු කර ඇත.

Read more ...

min

“ලෝකය වෙනස්වෙනකොට අපි එකතැන කැරකිලා හරියන්නෙ නෑ... දැනුම, තාක්ෂණය සහ රැකියා සමග අලුත්වන අනාගතයට දරුවන් රැගෙන යායුතුයි.” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්,  දැනුම ශීඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති  ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්  මහතා පවසයි. අමාත්‍යවරයා, මේ බව සඳහන් කළේ පසුගිය දා (ජුලි 13) කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රයේ දී  පැවති බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් භික්ෂූණ් වහන්සේ සඳහා ක්‍රියාත්මක කෙරෙන “බුදුපුත් සුරක්ෂා” හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් මහෝත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් මෙන් ම පිරිවෙන් ද ඇතුළුව ලක්ෂ 45කට ආසන්න සිසු දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණාවරණය ලබාදෙන අතර, සියලු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගාමිණී ජයවික්‍රම මැතිතුමන්ගේ මූලිකත්වයෙන් බුදුපුත් සුරක්ෂා රක්ෂණය ලබාදෙන්නට කටයුතු කිරීම ගැන සිය කෘතවේදීත්වය පළ කරන බව ද, විශේෂයෙන් ම  අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more ...

sup

අධ්‍යාපන සුපරීක්ෂණයට පූර්ණකාලීන ආයතනයක්...

මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්වීම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි. ඒ අනුව, අධ්‍යාපන සුපරීක්ෂණ සේවා ආයතනය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමන් විසින් සිදුකළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වනවිට ලැබී තිබේ.

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව(Quality assurance) සහ පිළිගැනීමේ(accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

Read more ...

asia1

ආසියානු පැසිපික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට අධ්‍යාපන අමාත්‍යතුමන් වෙතින් ගුවන් ටිකට්පත්

ජාතින් අතර සාමය සහජීවනය ඉහළ නැංවීමේ අරමුණින් 1989 වසරේ සිට වාර්ෂික ව පැවැත්වෙන ආසියානු පැසිෆික් ළමා සමුළුව මෙවරත් ජපානයේ ෆුකෝකා නගරයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහභාගීවීමට නියමිත අතර, ඔවුන් වෙත අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද [12] අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ආසියානු පැසිපික් ළමා සමුළුවේ සාමාජිකත්වය දරන රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් අතර ශ්‍රී ලංකාව ද මෙම සමුළුවේ ආරම්භයේ සිට ම සාමාජිකත්වය දරන අතර, මේ සඳහා සෑම වර්ෂයක ම සිසුන් සහභාගී කරවා ඇත. සමුළුවේ කොන්දේසි අනුව, අදාළ වර්ෂයේ අගෝස්තු 31 දිනට වයස අවුරුදු 10 යි මාස 7 සිට අවුරුදු 11 මාස 7 දක්වා සිසු සිසුවියන් (ගැහැනු පිරිමි සම සහභාගිත්වයෙන්) මේ සඳහා සහභාගී කරවනු ලබන අතර, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ම ප්‍රවීණතාව ලබාගන්නා ලද සිසුන් අතරින් එම සිසුන් තෝරාගැනීම සිදුකරනු ලබයි.

Read more ...

pr

නව විදුහල්පතිවරුන් 1918ක් බඳවා ගැනීම ළඟදීම...

රජයේ පාසල්වල III ශ්‍රේණියේ විදුහල්පති පුරප්පාඩු 1918 කඩිනමින් සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මස 10 වෙනිදා පවත්වන ලද විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා වූ තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් අතරින් සුදුස්සන් තෝරා ගැනීම පිණිස ජූලි මස අවසානයේ සිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පති ශාඛාව කටයුතු යොදා තිබේ.

විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත් 3881 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිතය.

Read more ...

logoS

සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ වේගවත් ව දරුවන්ට... මේ වනවිට ප්‍රතිලාභීන් 11740කට රුපියල් මිලියන 533කට ආසන්න ප්‍රතිලාභ ලබා දී අවසන්

නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරුකිරීමේ පරමාර්ථයෙන්, දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා වත්මන් රජය විසින් නොමිලේ ලබාදෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබා දීම මේ වනවිට වේගවත් ව ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ අනුව ඉකුත් තිස් වැනිදා (2019-06-30) වනවිට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ සංඛ්‍යාව 11740ක් වන අතර, රුපියල් 532,976,108/- ක් ප්‍රතිලාභ මුදලක් මේ වනවිට ගෙවා අවසන් ව තිබේ.

එදාමෙදාතුර ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමව්පියන්ටත්, දෙමව්පියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය විසින් පවරාගෙන සිටින අතර, දිවයින පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මව්පියෙකුට දරුවන්ගේ අසනීප තත්වයන් හමුවේ දෙවරක් නොසිතා අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මෙම රක්ෂණාවරණ වැඩපිළිවෙළ හරහා ඉඩප්‍රස්ථා සලසා තිබේ.

Read more ...

minister

“ගුරු- විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානයට යොමුකර තිබෙනවා” - අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම්

ගුරු- විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාශයේ අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා ඒ බැව් ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ගුරු- විදුහල්පති වැටුප් විෂමතාවය බී.සී. පෙරේරා වැටුප් වාර්තාවෙන් පැන නගින ලද්දක් බව පැවසූ අමාත්‍යවරයා එම විෂමතාව අනෙකුත් සේවාවන් හා ගැටෙන කරුණක් වන බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයට හුදකලාව කටයුතු කළ නොහැකි බවත් පැවසීය.

2015 ට සාපේක්ෂව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිකරන ලද අතර, විදුහල්පති වැටුප පමණක් සියයට 106කින් ඉහළ නැංවූ බව ද අමාත්‍යවරයා කීවේය.

Read more ...

school chil

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනක සේවාකාලයක් සපුරන සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් උපදෙස්

තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලට ම දරුවන් ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අද (10) නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ, දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කරගැනීම ගැටළුවකින් තොරව සිදුකරගැනීමට අවකාශ සැලසීම වෙනුවෙනි. මේ තුළින් යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමට ගුරුවරුන් පෙළඹෙනු ඇති බවත්, ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හරහා යම් දිරිගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යතුමන් සඳහන් කරයි.

Read more ...

ncoe

2016 සහ 2017 උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීම සැප්තැම්බර් මුල් සතියේ...

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතියි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක් (සිසුන් 8000ක්) සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන විවිධ පාඨමාලා සඳහා බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් මාසයේ මුල් සතිය තුළ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් ව තිබේ.

2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයෙන් සමත් වූ සිසුන්ට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව අංක 2108 දරන 2019/01/25 දිනැති ගැසට් නිවේදනය මගින් සලසා දී තිබූ අතර, ඒ අනුව මෙවර ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව 68,000කි. මේ අතරින් සුදුසුකම් මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබූ සිසුන් සංඛ්‍යාව 28000ක් වන අතර, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 134ක් යටතේ බඳවාගැනීමට නියමිත සිසුන් තෝරාගන්නා ලදී.

Read more ...

piriven

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙසින් නව වැඩසටහන් රැසක්..

මෙරට අධ්‍යාපනයේ පැරණිතම විද්‍යස්ථානය වශයෙන් සැලකෙන පිරිවෙන  සුරක්ෂිත කොට පවත්වාගෙන යාම සඳහා 1980 දී එවකට අධ්‍යාපන අමාත්‍ය පදවිය හෙබැවූ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිරිවෙන් අධ්‍යාපන පනත සම්මත කොට ක්‍රියාත්මක කරවනු ලැබීය. ඒ අයුරින් වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වන පිරිවෙන් පනත සංශෝධනය කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කළේය.

පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ උන්නතිය බැවින් ඒ උදෙසා 21 වැනි සියවසෙහි නව තාක්ෂණය ඔස්සේ ගිහි පැවිදි සිසුනට කඩිනමින් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට අවස්ථාව ලබා දීම මෙන්ම පිරිවෙන් ක්ෂේත්‍රය තුළ දශක හතරක් පුරා හඳුනාගත් විවිධ අවශ්‍යතා හා ඌනතා සම්පුර්ණ කිරිම හඳහා නෛතික ප්‍රතිලාභ සම්පාදනය ද පිරිවෙන් පනත සංශෝධනය කිරිමෙහි ප්‍රධාන අරමුණ විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයට උපදෙස් ලබා දි ඇත. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමවේද අධ්‍යාපනය පිළිබඳ ලෝක විද්වතුන් අතර පිරිවෙන් අධ්‍යාපනය ප්‍රචලිත කිරිමද මෙහි තවත් අරමුණකි.

Read more ...