Covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 වැනිදා සිට වසා තැබුණු රජයේ සියලු පාසල් හෙට(29) සිට නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. සිසු දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අදියර හතරක් යටතේ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, පළමු අදියර යටතේ පාසල් වෙත සිසුන් කැඳවීමක් නොකරන අතර, රජයේ සියලු පාසල්වල විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සහ පාසල් කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පමණක් කැඳවනු ලබයි. හෙට (29) සිට ජුලි මස 5 වන දා දක්වා ක්‍රියාවට නැංවෙන පළමු අදියර තුළදී පාසල් පරිශ්‍රයන් පවිත්‍ර කර ගැනීම, විෂබීජහරණය, දෑත් සේදීමේ පරිශ්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක පහසුකම් සකස් කරගැනීම මෙන්ම, සිසු දරුවන් පාසලට කැඳවීමෙන් පසු ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් පූර්ව කටයුතු සැලසුම් කිරීම විදුහල්පතිවරුන් ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත පවරා තිබේ.

මේ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ උපදෙස් මේ වන විටත් සියලු පළාත් ප්‍රධානීන් මගින් පාසල් වෙත යොමු කර ඇති අතර, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශයන්හි පූර්ණ සහයෝගය පාසල් වෙත ලබාදීමට ද එකඟ වී ඇත.
සිසු දරුවන් පාසල් වෙත කැඳවීම දෙවැනි අදියර යටතේ ජුලි මස 6 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර, 13, 11, සහ 5 ශ්‍රේණි සිසුන් පමණක් මේ අදියරේ දී කැඳවනු ලබයි. පාසල් ආරම්භ කිරීමේ තෙවැනි අදියර ජුලි මස 20 වනදායින් ආරම්භ කෙරෙන අතර, 12 සහ 10 ශ්‍රේණි දරුවන් මේ අදියරේ දී පාසල් වෙත කැඳවනු ලබයි. හතරවැනි අදියරේ දී 3, 4, 6, 7, 8, 9 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් ආරම්භ කෙරෙනුයේ ජූලි මස 27 වැනි දින සිටයි. 1, 2 ශ්‍රේණි සිසු දරුවන්ට පාසල් නැවත ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එම උපදෙස් ද සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාමට සියලු පාසල් ප්‍රධානීන් විසින් පියවර ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.